දැක්ම

මානසික යහ පැවැත්ම සහ මානව හිමිකම් අගයන සමාජයක්, මානසික රෝගවලින් පීඩා විඳින ජනතාවට ප්‍රමාදයකින් තොර ව පරිපුර්ණ, දැරිය හැකි, ගුණාත්මක හා සංස්කෘතික ව ගැලපෙන මානසික සෞඛ්‍ය හා මනෝ සමාජයීය සේවා සපයන සෞඛ්‍ය සේවාවක්, කොන් කිරීමෙන් හා වෙන් කොට සැලකීමෙන් තොර හිතකර පරිසරයක්, ඇති කිරීම.

මෙහෙවර

මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන, නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවා, මනෝ සමාජයීය රැකවරණ හා මානව හිමිකම් සුරැකීම හරහා මානසික යහ පැවැත්ම රජයන පරිසරයක් ස්ථාපිත කිරීම.

මානසික සෞඛ්‍ය වැඩසටහනේ ප්‍රධාන ක්‍රමෝපායයන්

  • මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය
  • සියදිවි නසාගැනීම් වැළැක්වීම
  • මධ්‍යසාර ඇතුළුව මත්ද්‍රව්‍ය නිවාරණය සහ පාලනය
  • මානසික සෞඛ්‍ය සේවා සඳහා යටිතල පහසුකම් සහ මානව සම්පත් ශක්තිමත් කිරීම
  • ප්‍රචණ්ඩත්වය වැළැක්වීම
  • පර්යේෂණ සහ කළමනාකරණ තොරතුරු සේවා තුළින් තොරතුරු පද්ධතිය ශක්තිමත් කිරීම

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි ජාතික ‍මානසික සෞඛ්‍ය වැඩසටහන සඳහා වගකිවයුතු ජාතික මට්ටමේ කේන්ද්‍රගත ආයතනය වනුයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයයි. දිවයිනේ සියලු ප්‍රදේශවල මානසික සෞඛ්‍ය සේවාවලට අදාළ ප්‍රතිපත්ති සැකසීම හා ක්‍රමෝපායයන් සැලසුම් කිරීම, සම්බන්ධීකරණය, සේවා ක්‍රියාවට නැංවීම සඳහා සහාය වීම, අධීක්ෂණය සහ ඇගැයීම මෙම අධ්‍යක්ෂ කාර්යාලයේ වගකීම් වේ.

ශ්‍රී ලංකා විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය සහ අදාළ අනෙකුත් වෘත්තිකයන්ගේ සංගම්, අදාළ අනෙකුත් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු, රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජ සහ මානසික රෝග අත්විඳින්නන්ගේ කණ්ඩායම් සමග සමීප සබඳතාවයෙන් යුතුව මෙම මානසික සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක කරනු ලැබේ. දීප ව්‍යාප්ත මට්ටමින් සැලකූ කල, පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය පද්ධති හා සේවා සැපීයම සිදු වන අතර, මෙහිදී පළාත් හා රේඛීය අමාතයාංශවලට අයත් සෞඛ්‍ය ආයතන මගින් විශාල කාර්යභාරයක් ඉටු කෙරේ.

ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍යය ප්‍රතිපත්තිය 2005 - 2015 අනුමත කරනු ලැබීමෙන් පසුව, 2005 ඔක්තෝබර් මාසයේදී ප්‍රතිපත්ති සහ කළමනාකරණයේ වෙනස්කම් සිදුවිය. මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණු වූයේ ප්‍රාථමික, ද්වීතියික සහ තෘතීයික මට්ටම්වලදී ඉහළ ගුණාත්මකබවින් යුත් මානසික සෞඛ්‍ය සේවා සැපයීම, ප්‍රජාවන්, පවුල් සහ සේවා පරිශීලකයන්ගේ සක්‍රීය සහභාගිත්වය සහතික කිරීම, මානසික සෞඛ්‍ය සේවා සංස්කෘතිකමය වශයෙන් යෝග්‍ය සහ සාක්ෂි මත පදනම් වූ ඒවා බවට පත් කිරීම සහ මානසික රෝග සහිත සියලු පුද්ගලයන්ගේ මානව හිමිකම් සහ අභිමානය ආරක්ෂා කිරීම යී.

ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ සේවා සැළකිය යුතු වෙනස්කම්වලට භාජනය වී ඇති බැවින්, මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය 2016 - 2025,  ප්‍රතිශෝධනය කිරීමේ ක්‍රියාවලියෙහි සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට නිරතව සිටී. මානසික සෞඛ්‍යය යන සෞඛ්‍යයේ අනුකලන කොටසකි. මානසික සෞඛ්‍ය ගැටලු බෙහෙවින් සුලබ අතර ලොව පුරා සෑම හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් මානසික සෞඛ්‍ය ගැටලු අත්විඳියි. එබැවින්, මානසික සෞඛ්‍ය ගැටලු සඳහා පිළියම් යෙදීමේ අවශ්‍යතාව කාලෝචිත වේ.

නො: 26,"මෙඩි හවුස් ගොඩනැගිල්ල",නව සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල,ශ්‍රී සංඝරාජ මාවත,කොළඹ 10.
(+94) 112 112 724
mhusrilanka[at]gmail.com