ආරම්භ‍යේ සිටම ශ්‍රී ලංකාව තුළ මානසික සෞඛ්‍ය සේවා සැපයුම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලදී. ශක්තිමත් රාජ්‍ය පද්ධතියක් හරහා සෞඛ්‍ය සේවා නොමිලයේ සපයනු ලබන අතර නාගරික ප්‍රදේශවල මූලිකවම බාහිර රෝගී සේවා හරහා පුද්ගලික අං‍ශයේ සෞඛ්‍ය සේවා සාර්ථකව ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය පද්ධතියේ පරිපාලන අධිකාරිය සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් පාලනය කරනු ලබන අතර ක්‍රියාත්මක කිරීම පළාත් සෟඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු 9 දෙනෙකු විසින් කළමනාකරණය කරනු ලබන සෞඛ්‍ය පරිපාලන කලාප 26ක් හරහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් විසින් සිදුකරනු ලැබේ. නිවාරණ සෞඛ්‍ය සේවා සැපයීම සඳහා එක් එක් පළාත් සෞඛ්‍ය කාර්යාංශය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලට බෙදා ඇත.

පළාත් නවයෙහි සිතියම දිස්ත්‍රික්ක 25හි සිතියම

පරිපාලන පිරමිඩ ව්‍යුහය

(රූප සටහන 1: පළාත් නවයෙහි සිතියම, දිස්ත්‍රික්ක 25හි සිතියම සහ පරිපාලන පිරමිඩ ව්‍යුහය)

ජාතික මට්ටමේදී, ජාතික මානසික සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ කේන්ද්‍රීය ආයතනය වනුයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයයි. තාක්ෂණික ක්‍රමෝපායයන් සහ මාර්ගෝපදේශ සකස් කිරීම, ප්‍රතිපත්ති සකස් කිරීම, වාර්ෂික මෙහෙයුම් සැලසුම් සහ අයවැය සකස් කිරීම, සම්පත් සේවාවන්හි යෙදවීම, අදාළ අංශ සමග සහයෝගයෙන් යුතුව ධාරිතා ගොඩනැංවීම සහ මානසික සෞඛ්‍ය වැඩසටහන් ජාතික මට්ටමේදී අධීක්ෂණය සහ ඇගයීම සඳහා මෙම අධ්‍යක්ෂ කාර්යාලය වගකිව යුතු වේ.

පසුගිය වසර 15 තුළ ශ්‍රී ලංකාව සිය මානසික සෞඛ්‍ය සේවාවන්හි විශාල ඉදිරි පියවරක් තබා ඇති අතර, විශේෂයෙන්ම පශ්චාත් සුනාමි සමයේදී (2005 සිට) මානසික සෞඛ්‍ය සේවා සැපයුමෙහි සුවිශේෂී වෙනසක් දක්නට ලැබුණී. 2005 වසරේදී, මානසික සෞඛ්‍ය සහ මනෝසමාජීය කාර්යසාධක බලකාය විසින් සුනාමි විපතින් පීඩාවට පත් ජනතාව සඳහා මනෝසමාජීය සහ මානසික සෞඛ්‍ය සේවා කළමනාකරණය සහ සැපයීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කරන ලදී. 2005 ඔක්තෝබර් මාසයේදී, ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය 2005 - 2015 අනුමත කරනු ලැබූ අතර විමධ්‍යගත කරන ලද, ප්‍රජා මූලික සේවාවන්හි අවශ්‍යතාව එහි පැහැදිළිව විස්තර කොට ඇත. එම ප්‍රතිපත්තිය ඊළඟ දශකය සඳහා මෙහෙයුම් රාමුවක් සකස් කරන ලද අතර එය ප්‍රතිශෝධනය කරමින් පවතියි. මෙම ප්‍රතිඵලයේ ඉලක්කය වූයේ සඵල, ප්‍රවේශ්‍ය, සාධාරණ සහ සමස්ථ ජනගහණය සහයෝගී සහ බහුආංශික ආකාරයකින් සැපයිය හැකි වුව ද, පරිපූර්ණ හා ඉහළ ගුණාත්මකබවින් යුතු පුද්ගලයන්ගේ මානව හිමිකම් හා අභිමානය සුරකින සහ ප්‍රවර්ධනය කරන, සෞඛ්‍ය ප්‍රවර්ධනය, මානසික රෝග නිවාරණය, ප්‍රතිකාර සහ පුනරුත්ථාපනයට අදාළ මානසික සෞඛ්‍ය සේවා වර්ධනය කිරීමයි.

මානසික සෞඛ්‍ය සේවා සැපයීමේදී, ප්‍රධාන රෝහල්වලට පමණක් සීමා වී තිබූ සේවාවන් පර්යන්ත රෝහල් දක්වාද ව්‍යාප්ත විය. 2007 වසරේදී, අංගොඩ පිහිටි ප්‍රධාන මානසික රෝහල, ජාතික මානසික සෞඛ්‍ය ආයතනය බවට ප්‍රතිව්‍යූහගත කරන ලදී.

ශ්‍රී ලංකාව තුළ තෘතියික මට්ටමේ රෝහල් 7 ක් ස්ථාපනය කර ඇති අතර ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෘජු පාලනය යටතේ පවතී. මෙම ආයතන සියල්ලේම මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නේවාසික මානසික වාට්ටු පවතී. දැනය දිස්ත්‍රික්ක 26 න් 23 කම නේවාසික රෝගී ඒකක පවතින අතර ප්‍රාදේශියව පාලනය වන ආයතන කිහිපයකද එම ඒකක පවතී. වත්මනෙහි වැඩිහිටි නේවාසික රෝගී ඒකක 61 ක් ද, ළමා නේවාසික රෝගී ඒකක තුනක් ද, වෝහාරික ඒකක එකක් ද , දිවයින් තුළ ස්ථාපිත කර ඇත.

එසේම, 2004 දී මධ්‍යකාලීන නේවාසික ඒකක පැවැතියේ දිස්ත්‍රික්ක පහක පමණක් වුවද, මේ වන විට එම ඒකක දිස්ත්‍රික්ක 15කට ව්‍යාප්ත වී ඇත. බාහිර සායන සෑම සෞඛ්‍ය කොට්ඨාශයකම ක්‍රියාත්මක වේ.  ඊට අමතරව, මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරී‍මේ කේන්ද්‍රස්ථානයක් ලෙස කටයුතු කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ප්‍රජා උපකාරක සේවා මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් පවතී.

සේවාලාභීන්ට වඩා ‍යහපත් ප්‍රතිකාර සේවා සහ පසුවිපරම් සිදුකිරීමේ හැකියාව ඇති කිරීමට, රෝගීන්ට නිවෙස් ආසන්නයේ සිට සේවා ලබාගැනීමට සහ ප්‍රතිකාර පරතරය ද අඩුකිරීමට රෝහල්වලින් පිටත පවත්වන මානසික රෝගී සායන දායක වී ඇත.

(රූප සටහන 2: ශ්‍රී ලංකාව තුළ මානසික සෞඛ්‍ය සේවා ව්‍යාප්තිය)

මෙම මානසික සෞඛ්‍ය ‍සායන මගින් අඛණ්ඩව සත්කාර සැපයීම, ඇගයීම, ප්‍රතිකාරය සහ නිවෙස් වෙත පැමිණ උපදෙස් ලබාදීම ආදිය සිදු කරයි. වෛද්‍ය නිලධාරීන් (මනෝ වෛද්‍ය) හෝ වෛද්‍ය නිලධාරීන් (මානසික සෞඛ්‍ය) හෝ මනෝ වෛද්‍ය විශේෂඥ  වෛද්‍යවරුන් විසින් මෙම සායනය පවත්වනු ලබයි. විසින් මෙම සායන පවත්වනු ලැබේ. නිවෙස් වෙත ගොස් සේවා සැපයීම සිදුකරනුයේ සේවා ලබාගැනීම පැහැර හැරි මානසික රෝගීන් සඳහා වන අතර ඔවුන්ට සහ ඔවුන්ගේ භාරකරුවන්ට ද සහාය ලබා දෙනු ඇත. වෛද්‍ය නිලධාරි, හෙද නිලධාරී සහ මනෝ වෛද්‍ය සමාජ සේවක යන අයගෙන් සමන්විත කණ්ඩායමක් විසින් නිවෙස් සංචාර සිදුකරනු ලැබේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය කාන්තාවන් සහ ළමුන් විසින් මුහුණ පානු ලබන ප්‍රධාන ගැටලුවක් වන බැවින්, තෝරාගත් දිස්ත්‍රික්කවල තෘතීය සත්කාරක ආයතනවල ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට අදාළ සේවා සපයන කවුළු සහ මිතුරු පියස මධ්‍යස්ථාන ස්ථාපනය කර පවත්වාගෙන යනු ලැබේ. පොලීසිය, සමාජ සේවා, ළමා ආරක්ෂක, පරිවාස, නෛතික/ අධිකරණ, රාජ්‍ය නොවන සංවිධාන සහ අධ්‍යාපන ආදී අනෙකුත් අදාළ සේවාවන් සමග ඔවුන් සහයෝගයෙන් කටයුතු කරයි.

ශ්‍රී ලංකාව තුළ මානසික සෞඛ්‍ය සේවා ව්‍යාප්ති සිතියම

ළමා ප්‍රතිකාර සඳහා විශේෂඥතාවක් දක්වන ප්‍රධාන රෝහල් දෙක වන කොළඹ රිජ්වේ ආර්යා රෝහල සහ මහනුවර සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂඥ රෝහල ළමුන්ගේ මානසික සෞඛ්‍ය අවශ්‍යතා සම්බන්ධයෙන් කටයුතු කරයි. සාමාන්‍ය බාහිර රෝගී සායන සහ නේවාසික සේවාවන්ට අමතරව, විශේෂිත අධ්‍යන දුබලතා (SLD) අවධාන ඌනතා අධික්‍රියාකාරී අක්‍රමතාව (ADHD), මනෝ වික්ෂිප්තභාවය (ASD) සඳහා පූර්ණ මැදිහත්වීම් සහ චර්යා අක්‍රමතා සහිත ළමුන් සිටින පවුල් සඳහා සහයෝගය සැපයීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල විශේෂ වැඩසටහන් පවත්වයි. දිස්ත්‍රික් මට්ටමමින් ළමා සත්කාරක සේවා පිරිනැමීම සඳහා මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාල විසින් සියලු දිස්ත්‍රික් රෝහල්වල ළමා ‍මනෝ වෛද්‍ය බාහිර රෝගී සායන ප්‍රවර්ධනය කර ඇත. දැනට දිස්ත්‍රික්ක  4 ක ළමා සහ නව යෞවන මනෝ වෛද්‍ය විශේෂඥවරු 4 දෙනෙකු වත්මනෙහි සේවය කරනු ලබන අතර ඔවුහු දරුවන් සහ නව යෞවනයින් සඳහා ප්‍රවර්ධන, නිවාරණ සායනික හා පුනුරුත්ථාපන සේවා සපයති. වෘත්තිකයන් සහ පළාත් සෞඛ්‍ය සේවාවල සහයෝගයෙන් යුතුව, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා විශේෂ අවධානයක් ලබා දෙමින් පරිපූර්ණ ළමා මානසික සෞඛ්‍ය සේවාවක් ස්ථාපනය කිරීමට  සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කරමින් පවති. 

ශ්‍රී ලංකාවේ පවතින පුනරුත්ථාපන මධ්‍යස්ථාන සංඛ්‍යාව වර්ෂ 2000 එකක් ව පැවැති අතර 2017 වන විට  23 ක් දක්වා වර්ධනය වී තිබේ. ඊට මධ්‍යකාලීන නේවාසික පුනරුත්ථාපන මධ්‍යස්ථාන (මාස 6) සහ දීර්ඝ කාලීන නේවාසික පුනරුත්ථාපන මධ්‍යස්ථාන (අවුරුදු 1ට වැඩි) අයත් වේ. මධ්‍ය කාලීන නේවාසික පුනුරුත්ථාපන මධ්‍යස්ථානය දැඩි වෛද්‍ය මැදිහත්වීම් අවශ්‍ය නොවන නමුත් තම ජීවන ඵලදායීතාව සඳහා ජීවන නිපුණතා වර්ධනය කරගැනීමට තවදුරටත් ප්‍රතිකාර සහ සහාය අවශ්‍ය තැනැත්තන් සඳහා සේවා සපයයි. පුනරුත්ථාපනයේ වැදගත් අංගයක් වනුයේ ජීවන සහ වෘත්තීය කුසලතා ගොඩනංවන වෘත්තීය චිකිත්සාවයි. පුනරුත්ථාපන මධ්‍යස්ථාන සේවාලාභියාගේ ස්වයං උවැටන, ආහාර පිසීම සහ පිරිසිදු කිරීම වැනි එදිනෙදා ජීවන කුසලතා  ඉගැන්වීම කෙරෙහි අවධානය යොමු කරයි. මෙම මධ්‍යස්ථාන බොහෝමයක් රෝහල් පාදක වන අතර මෙම මධ්‍යස්ථාන කළමනාකරණය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් විය හැක. රජයේ මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට අමතරව, ‘නෙස්ට්’ සහ ‘සහනය’ වැනි රාජ්‍ය නොවන සංවිධානවලට තමන්ගේම මධ්‍යස්ථාන තිබේ.

ඉහළ යමින් පවතින මද්‍යසාර භාවිතය පාලනය කිරීමේ තවත් මූලාරම්භයක් වනුයේ ඇබ්බැහිවීමෙන් මුදවාගැනීමේ පුනරුත්ථාපන ඒකකයි. (මද්‍යසාර පුනරුත්ථාපන මධ්‍යස්ථාන) එවැනි මධ්‍යස්ථාන හතක් ගම්පහ, මහනුවර, යාපනය, මඩකලපුව, කුරුණෑගල, බදුල්ල සහ කිලිනොච්චියේ පිහිටා ඇත. ‍මෙම මධ්‍යස්ථානවල ‍සේවාලාභී කේන්ද්‍රීය ආකෘතිය අනුව ස්වේච්ඡාවෙන් ඇතුලුවීම අවශ්‍ය වේ, කෙසේවෙතත්, ප්‍රජා සෞඛ්‍ය සේවකයන් සහ සහ මානසික සෞඛ්‍ය වෘත්තිකයන් විසින් සේවාලාභීන් ඇතුළුවීම දිරිමත් කර පොළඹවාලීමට හැකිය. පුනරුත්ථාපන ක්‍රියාකාරකම්වලට ක්‍රීඩා පදනම් වූ චිකිත්සාව, කණ්ඩායම් චිකිත්සාව, උපදේශනය, ගෙවතු වගාව, ආගමික වැඩසටහන් සහ පවුලේ මැදිහත්වීම් ඇතුලත් වේ.

තාක්ෂණික මාර්ගෝපදේශ, ජාතික සහ පළාත් වැඩසටහන් සඳහා උපදෙස් දීම සහ අධීක්ෂණය සැපීයම මගින් අදාළ වැඩසටහන් මෙහෙය වීම පිණිස තාක්ෂණික උපදේශන මණ්ඩලයක් ලෙස කටයුතු කිරීම සඳහා තාක්ෂණික කමිටු කිහිපයක් පත් කර තිබේ. මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ වරයා විසින් ක්‍රියාත්මක කරනු ලැබිය යුතු, තීරණ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දීම පිණිස 2007 වසරේදී ජාතික මානසික සෞඛ්‍ය උපදේශන මණ්ඩලය ස්ථාපිත කරන ලදී. එහි සභාපති ලෙස සෞඛ්‍ය ලේකම්වරයා ද කැඳවුම්කරු ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා ද පත් කරන ලද අතර එය තාක්ෂණික සහ පරිපාලක යන දෙයාකාර විශේෂඥතාව සහිත විවිධත්වයෙන් යුතු බහුවිෂයයික කණ්ඩායමක් විය. වසර කිහිපයක් තුළ එය මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික කමිටුව ලෙස නැවත සකස් කරන ලද අතර එය මුලසුන දරනු ලැබූයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ අතර කැඳවනු ලැබූයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා විසිනි.

මානසික සෞඛ්‍ය පිළිබඳ නීතියක් හෝ මානසික සෞඛ්‍ය පනතක් 2005 වසරේ සිට සාකච්ඡාවන්ට බඳුවී තිබේ.  වසර ගණනාවක් පුරා විවිධ කෙටුම්පත් සහ තරඟකාරී බැඳියාවන්ගෙන් පසුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකා විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය, රාජ්‍ය නොවන සංවිධාන යන ආයතනවල නියෝජනයෙන් සහ අනෙකුත් පාර්ශවකරුවන් විසින් පනත් කෙටුම් පතක් සම්පාදනය කරන ලද, අතර අවසන් කෙටුම්පත ලෙස සකස් කිරීම සඳහා වත්මනෙහි එය සමාලෝචනය කරමින් පවතී. එම නව පනත මගින් 1956 මානසික රෝග අඥාපනත ප්‍රතිස්ථාපනය කරනු ඇත.

රටේ ඉහළ යමින් පවතින සෞඛ්‍ය, සමාජීය සහ මූල්‍ය බර සැලකිල්ලට ගනිමින්, 2006 වසරේ අංක 27 දරන දුම්කොළ සහ මද්‍යසාර ජාතික අධිකාරිය පනත යටතේ දුම්කොළ සහ මද්‍යසාර ජාතික අධිකාරිය පිහිටවනු ලැබූ අතර ඒ යටතේ තහනම් කරනු ලැබූ ක්‍රියාවන් හා වැරදි කවරේදැයි අර්ථ දක්වන ලදී. මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය 2015 වසරේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ අතර 2016 වසරේදී එය එළි දක්වන ලදී. මෙම ප්‍රතිපත්තිවල අන්තර්ගතයෙහි, යහපත් මානසික සෞඛ්‍යයක් පිළිබඳ උසස් ප්‍රමිති සාක්ෂාත් කර ගැනීමේ අභිලාෂය සඳහා සැලකිය යුතු අවධානයක් යොමුව ති‍බේ.

පසුගිය වසර කිහිපය තුළ වර්ධනය වී ඇති තවත් ක්ෂේත්‍රයක් වනුයේ හදිසි ආපදා අවස්ථාවන්හිදී මානසික සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ප්‍රතිචාර දැක්වීම වන අතර මානසික සෞඛ්‍ය කණ්ඩායම්, අනෙකුත් ප්‍රජා නිලධාරීන් සහ ස්වේච්ඡා කණ්ඩායම් විසින් ස්වාභාවික ආපදාවන්හි සහ හදිසි අවස්ථා තත්වයන්ට මුහුණ දුන් අය සඳහා මනෝසමාජීය සහයෝගය සපයයි. මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය විසින්  කණ්ඩායම්  පුහුණු කර ඇති අතර අවදානම් පාත්‍ර සියලු දිස්ත්‍රික්කවල ඔවුන් ස්ථාන ගත කර ඇත. ආපදා අවස්ථාවන්හිදී, පීඩාවට පත් ප්‍රදේශවල කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සහ ප්‍රජාව තුල ‍මනෝසමාජීය සහයෝගය ස්ථාපිත කිරීමට ක්‍රියාමාර්ග ගනු පිණිස මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය  මෙම පිරිස් ඒකරාශී කරයි.

"මානසික රෝග අත්විදීන්නන් සහ රැකවරණ සපයන්නන්ගේ සංවිධාන " යනු ජාතිකව ව්‍යාප්තව ඇති සංකල්පයකි. බොහෝ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් එවැනි කණ්ඩායම් 70ක් පමණ ඇති අතර එයින් 10ක් ලාබ නොලබන ආයතන ලෙස ලියාපදිංචිව ඇත. ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ සිට මෙහෙයුම් සිදුකරනු ලබන ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය සේවා ලාභීන්ගේ  ක්‍රියාකාරී ජාලය එවැනි එක් සාර්ථක සංවිධානයකි. එම ජාලය ස්ථාපිත කරනු ලැබූයේ සුරක්ෂිත මානසික සෞඛ්‍ය පද්ධතියක් සඳහා උද්දේශනය කරනු පිණිස මානසික සෞඛ්‍ය ගැටලුවලින් පීඩාවට පත් ජනතාව සහ ඔවුන්ගේ රැකවරණ සපයන්නන්ගේ සහයෝගීත්වය ලබා ගැනීම සඳහාය. අදාළ සියලු පාර්ශවකරුවන්ගේ සහභාගිත්වය සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනටමත් “මානසික රෝග අත්විදීන්නන් සහ රැකවරණ සපයන්නන්ගේ සංවිධාන ස්ථාපිත කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික මාර්ගෝපදේශ” සකස් කොට ඇත.

සේවා සඳහා දිනෙන් දින ඉහළ යන ඉල්ලුම සපුරාලීම පිණිස බොහෝ සේවක කණ්ඩායම් සම්බන්ධයෙන්  මානසික සෞඛ්‍ය සඳහා මානව සම්පත් සංවර්ධනයේ වැදගත් වැඩිදියුණුවීම් සිදු ව  තිබේ. මනෝ වෛද්‍ය විශේෂඥයන්, මානසික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්,  මනෝවිද්‍යාඥයන්, උපදේශකයන්, කථන චිකිත්සකයන්, වෘත්තීය චිකිත්සකයන්, භෞතචිකිත්සකයන්, මනෝ වෛද්‍ය සමාජ සේවකයන් සහ ප්‍රජා සේවකයන් ආදින්ගෙන් සමන්විත බහුවිෂයයික කණ්ඩායමක් හරහා මානසික සෞඛ්‍යය අංශය මෙම සේවා සපයනු ලැබේ. ශ්‍රී ලාංකිකයන්ට පරිපූර්ණ මානසික සෞඛ්‍ය රැකවරණය  සැපයීමේදී මෙම වෘත්තිකයන් සෑම කෙනෙක්ම වැදගත් කාර්ය භාරයක් ඉටුකරයි. මෙම විෂයයන් බොහෝමයක් පසුගිය වසර 15 ක කාලය තුල වඩාත් ශක්තිමත් වී වඩාත් ස්ථාපිත වී ඇත. මානසික සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී (කේන්ද්‍රීය ආයතන), විසින්  ජාතික මට්ටම, දිස්ත්‍රික්ක සෞඛ්‍ය කණ්ඩායම සහ අදාළ අනෙකුත් සියලු දෙපාර්තමේන්තු සහ ප්‍රජා කණ්ඩායම් සමග සමීප සබඳතාවක් පැවැත්වීම හා  දිස්ත්‍රික්කය තුළ මානසික වෛද්‍ය සෞඛ්‍ය සේවා සියල්ලම සම්බන්ධීකරණය කිරීම තුළින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට සහාය වෙයි.  කලාපයක් (දිස්ත්‍රික්කයක්)  තුළ සේවා සපයනු ලබන්නේ වෛද්‍ය ආයතන සහ සෞඛ්‍ය ඒකක ජාලයක් හරහාය.

සේවා සැපයුම අධීක්ෂණය කිරීම සහ ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබාදීම පිණිස දිස්ත්‍රික් සමාලෝචන රැස්වීම් මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයට පිටිවහලක් වේ. මනෝ වෛද්‍ය  විශේෂඥවරයාගේ සහ මානසික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (කේන්ද්‍රීය ආයතන) ගේ සහාය ඇතිව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් මෙම රැස්වීම් පවත්වනු ලැබේ. ප්‍රජා වෛද්‍ය විශේෂඥයන් සහ මානසික සෞඛ්‍ය පිළිබඳ සියලු වෛද්‍ය නිලධාරීන්, පුනරුත්ථාපන මධ්‍යස්ථාන බාරව සිටින වෛද්‍ය නිලධාරින්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ අදාළ අනෙකුත් අමාත්‍යාංශවල නිලධාරීන් මෙම සමාලෝචන රැස්වීම් සඳහා සහභාගි වේ. මෙම රැස්වීම්වලදී, දිස්ත්‍රික්ක මානසික සෞඛ්‍ය සේවා (අඩුපාඩු සහ අභියෝග), දුරස්ථ ප්‍රජාවන් සඳහා සායන, පාසල් වැඩසටහන් සහ දිස්ත්‍රික්කයේ සිදුකරනු ලබන අනෙකුත් මුලාරම්භයන් සමාලෝචනය කරනු ලැබේ. තවද, ජාතික මට්ටමේදී සකස් කරනු ලබන මානසික සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙම රැස්වීම  හරහා දිස්ත්‍රික් මට්ටමට සුදුසු පරිදි සකස්කොට ක්‍රියාවට නංවනු ලැබේ.

පළාත් සමාලෝචන රැස්වීම්වල මුලසුන දරනු ලබනුයේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසිනි.   ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, සියලු මනෝ වෛද්‍ය විශේෂඥයන්, ප්‍රජා වෛද්‍ය විශේෂඥයන්, සමාජ සේවා නිලධාරීන්, ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ නියෝජිතයන්, ප්‍රධාන ඖෂධවේදී, ප්‍රධාන ගණකාධිතාරී සහ අදාළ අනෙකුත් නිලධාරින් මෙම රැස්වීම් සඳහා සහභාගි වේ. දිස්ත්‍රික්ක මට්ටමේදී නොවිසඳුණු ගැටලු මෙහිදී ප්‍රතිපත්ති මට්ටමේදී සාකච්ඡා සහ විසඳුම් සඳහා ඉදිරිපත් කරනු ලැබේ.

අධ්‍යක්ෂ කාර්යාල විසින්
නො: 26,"මෙඩි හවුස් ගොඩනැගිල්ල",නව සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල,ශ්‍රී සංඝරාජ මාවත,කොළඹ 10.
(+94) 112 112 724
mhusrilanka[at]gmail.com